Monday, August 5, 2013

බෙල්ලන්විල පන්සල


සෙනසුරාදාවක් හන්දා හුගක් දෙනා අද පන්සල් ඇවිත් කාර් පාර්ක්‌ එකත් පිරෙන්න සෙනග ඉඩ ඇති තැනක් බලලා අලුත ගත්ත මගේ කාර් පොඩ්ඩ පාර්ක්‌ කරේ බොහොම පරිස්සමින් මටත් වඩා තාත්තා ගොඩක් පරිස්සම් කාර් එක වටේ වටයක් කැරකුණ තාත්තා විදුරුව අස්සෙන් වාහනේ අතුල බැලුවේ මම හෑන්ඩ් බ්රේක් එක ඇදලද කියලා ඉන්පස්සේ හිනා පිරිච්ච් මුනෙන් මාවත් එක්කගෙන පුජා වට්ටි විකුනන කඩ අසලට ගියා.කඩ දෙක තුනක් පහුකරලා ගිහිං හොදට පිරෙන්න වට්ටි වලට පලතරු දාලා තිබ්බ කඩයක් ලග නැවතිලා විපරම් කරා.

"මල්ලි මේ පුජා වට්ටි කියද ?"

"350 සර් අලුත් පලතුරු තියෙන්නේ"

"තුනක් දෙන්න කතරගම දෙයියන්ට එකයි, සුනියම් දෙවියන්ට එකයි, ගණ දෙවියන්ට එකයි"

කඩේ හිටපු කොල්ලා දඩ බඩ ගාලා ඉටි මල් මලා එහෙ මෙහෙ කරලා අපිට පුජා වට්ටි ටික සකස් කරලා දෙද්දී තාත්තා බුදුන් වදින්න අවශ්‍ය මල්,හදුන් කුරු , පහන් තිර ආදියත් මිලිදී ගත්තා ඉන්පස්සේ මම පුජා වට්ටි දෙකක් අත්දෙකට ගත්තා තාත්තා එක වට්ටියක් සහ අනිත් කළමනා ටික අරගෙන පන්සල පැත්තට පාර පනිනකොට මගේ හිතේ තිබ්බ නෝක්කාඩුව තාත්තට කිව්වා.

"අම්මත් ආවනම් හොදයි නේ ?"

"අද කැන්ටිමේ ලොකු ඔඩරයක්නේ අම්මා ආවනම් මට එන්න වෙන්නේ නැනේ සුදු මහත්තයා"

මේ වගේ හොද ගමනක් තාත්තා නැතුව යන්න අම්මා ඉඩ තියෙන්නේ නැහැ කියලා මම දන්නවා ඒකයි එයාට එන්න බැරි වුනත් තාත්තව එව්වේ මම මටම හිතින් කියා ගත්තා ඒ වුනාට මම බෙල්ලන්විල එන්න කැමති අම්මත් එක්ක මොකද මේ පන්සලේ අම්මටයි මටයි ගොඩක් මතක හිටින සිදුවීම් තියනවා තාත්තා පහන් පත්තු කරන අතරේ මිට අවුරුදු 13 කට විතර කලින් වෙච්ච දේවල් එකින් එක මතක් වෙන්න ගත්තා කොච්චර අමාරු කාලයක්ද ?
                          නොහිතපු වෙලාවක වුන අකරතැබ්බයක් නිසා එතෙක් අම්මා තාත්තා මහන්සි වී ගොඩනගපු ව්‍යාපාර මෙන්ම අපේ සැපවත් ජිවිතත් අත ඇරලා තාත්තගේ ගම වෙච්ච කොලබට අපි හැමෝටම එන්න වුනා. සියල්ල දමා ආවේ අප නිවාඩුව ගත කිරීමට ප්‍රිය කරන තාත්ත්තගේ නෑදැයෝ අතරට හින්දා  මුල් මාස කීපය අයියටයි මටයි අක්කටයි ලොකු වෙනසක් දැනුනේ නැහැ එත් මාස කීපයකින් ගෙදර තිබ්බ සල්ලි ටික ඉවර වෙද්දී රත්තරං බඩු  එකින් එක බැංකුවට යද්දී අපි මේ ගත කරන්නේ නිවාඩුවක් නෙමේ කියලා අපිට තේරුනා.ජිවිත කාලයම ගොඩ නගපු සියලු දේවල් අහිමි වෙලා නොදන්නා රටක ආදායම් මාර්ගයක් හොයන්න තාත්තා  වෙහෙසෙද්දී සමහර නෑදෑයන්ගේ ඈත් වීම අපිට ටිකෙන් ටික දැනේනේ ගත්තා. අපි තුන් දෙනාව ගමේ ස්කොලෙන් අයින් කරන කොලබ ස්කෝලෙට දැම්මට පස්සේ ජිවත් වීම තවත් අමාරු වුන බව අපිට දැනුනේ බස් මුදලාලි කෙනෙක් විදියට හිටපු තාත්තා අපේම බස් එකේ කොන්දොස්තරකමට යද්දී. ලිපේ ඉදෙන ව්‍යංජන ගණන අඩු වෙලා අන්තිමට කෑම වෙල් ගණනත් අඩු වුනේ කඩෙන් නයට බඩු දෙන එක නතර කරාට පස්සේ. මට අද වගේ මතකයි බඩු ලිස්ට් එකක් අරන් ගිය මට කඩේ මුදලාලි සැර දාලා බැනලා එලෙව්ව හැටි ඒ මගේ ජිවිතේ අදුරුම අත්දැකීමක්. මේ සියල්ල වෙන අතරේ අම්මා ගෙදර ඉදං සැහෙන්න දුක් වේවි හිටියේ එයා කොච්චර හිත හයිය ගැනියෙක් වුනත් ඒ ලැබිච්ච දුක් කන්දරාව දරාගන්න ගොඩක් අමාරුයි ඔහොම ඉද්දි අම්මට කියලා තිබ්බා කවුරු හරි ඔය සේරම කරදර දුරු වෙන්න කියලා හිතාගෙන බෙල්ලන්විල පන්සලට ගිහිං බෝධිපූජාවක් තියන්න කියලා එල්ලෙන්න පිදුරුගහක් වත් තිබ්බේ නැති වෙලාවේ එකවත් කරලා බලන්න ඕනි කියලා අම්මා මාවත් එක්කගෙන බෙල්ලන්විල ආවා. දෙතුන් දෙනකගෙන් පාර අහගෙන බස් දෙක තුනක ඇවිල්ලා අපි දෙන්නා මහන්සියෙන් පන්සල ඇතුලට ගියපු විදියට මට අදටත් හොදට මතකයි. අම්මයි මමයි ප්ලාස්ටික් කල වලට වතුර පුරවගෙන බෝධිය වටේ ගිහිං බෝධිය නාවලා බුදුන් වැන්දා,
                             වැදලා ඉවර වුනාට පස්සේ එතන තිබ්බ සුනියම් දේවාලේ ලගට අම්මා ගියේ පිහිට ඉල්ලන්න වෙන්න ඇති  උදේට හරි කෑමක් අපි දෙන්න කාලා හිටියේ නැහැ පුදුම බඩගින්නකින් හිටපු මට දේවාලේ තිබ්බ පලතුරු දිහා බැලුනේ ඉබේටම ඔය අතර මං දිහා බලන් හිටපු දේවාලේ කපු මහත්තයා මට කොමඩු කැල්ලක් දුන්නා ඒ වෙලාවේ මම අම්මා දිහා බැලුවා අම්මා කදුළු පිරිච්ච ඇස් දෙකෙන් කිව්වා කන්න පුතේ කියලා එසැනින් කොමඩු කැල්ල අතට අරන් කටේ දාගත්තේ විදුලි වේගෙයන් මගේ නහර පුරා දැනිච්ච ඒ මිහිරි රස මට අදටත් මතක් වෙනවා එදා ඉදං අද වෙනකම් මම කොමඩු කන්න පුදුම පෙරේත කමක් තියෙන්නේ අපේ අම්මා පලතුරු ගෙනාවොත් අනිවා මට කොමඩු ගෙඩියක් ගේන්නේ ඔය සිද්දිය හන්දා. කොහම හරි කොමඩු කැල්ල කාපු විදියට කපු මහත්තයට දුක හිතිලා මට තව කැල්ලක් දුන්නා ඒ අතර අම්මගෙන ඇහුවා

"මොකද දරුවෝ කරදරයක්ද?"

"මේ ළමයි සැපට හැදුනේ කපු මහත්තයෝ අපිට පුංචි පුංචි කරදර ටිකක් වෙලා තියෙන්නේ" අම්මා කෙටියන් කපු මහත්තයාට වෙච්ච දේවල් කිව්වා ඉන් පස්සේ ඔහු අපිට කිව්වා කොච්චර අමාරුවෙන් හරි තව දවස් 6 යක් ඇවිල්ලා බෝදිපුජා තියන්න කියලා ඒ වගේම තියන කරදර මිදිලා පවුලේ හැමෝටම හොදක් වෙන්න කියලා හිතාගෙන සුනියම් දෙවියන්ට බාරයක් වෙන්න කිව්වා කරදර ඉවර වුනාම පුජා වට්ටියක් පුජා කරන්නත් පොරොන්දු වෙන්න කියලා කිව්වා  ඊට පස්සේ ගාථා වගයක් කියලා මොනර පිහාටු වලින් අපේ ඔලුවට තට්ටු කළා"
                     අපි නැවත ගෙදර ආවේ හිතේ යම් තරමක සහනයෙන් පුංචි මට ඕවා තේරුනේ නැති වුනාට අම්මගේ මුනේනේ මං ඒක දැක්කා එත් තව අලුත් ප්‍රශ්නයක් අපිට ආවා තවත් දවස් 6 ක් බෙල්ලන්විල යන්න අපිට සල්ලි ඕනි නේ කන්න බොන්නත් අග හිග කම් තිබ්බ අපිට ඒ වගේ පුංචි ගානකුත් හොයා ගන්න අමාරු වුනා අපේ ගෙදර තිබ්බා පරණ කාසි දාපු බෝතලයක් ඔකේ පරණ 10 කාසි පරණ දෙකේ කාසි එහෙම තිබ්බා අපි ඒවා දීලා කොහම හරි පන්සල ගියා ඔහොම දවස් 5 ක් ගියාම අන්තිම දවසේ අපිට සල්ලි තිබ්බේ බස් එකේ යන්න විතරයි එන්න සල්ලි තිබ්බේ නැහැ එත් අම්මා සැලුනේ නැහැ කාගෙන් හරි ඉල්ලං හරි එමු කියලා හිතාගෙන අපි බෙල්ලවන්විල ගියා යනකොට හරි අපුරු වැඩක් වුනා බස් එකේදී මට බිම තිබිලා රුපියල් 50 ක් හම්බ වුනා ඒ වෙලාවේ හැටියට අපිට රටක් රාජ්ජයක් හම්බුනා වගේ අම්මා කිව්වේ දෙයියෝ බුදුන් අපි ගැන තාම බලනවා පුතේ කියලා අපි එදත් බොධි පුජාව තියලා බුදුන් වැදලා ගෙදර ආවා.
                                       ඉන් ටික කාලෙකට පස්සේ සැහෙන දුක් කරදර විදලා ඉන්න හිටින්න තැන් නැති වෙලා කොටින්ම අපේ ගෙදර තිබ්බ පිත්තල පහනේ ඉදලා ටීවී එක දක්වා සියලුම දේවල් උකස්‌ තියන්න සිද්ද වුනා එත් අම්මගෙන් තාත්තාගෙන් මහන්සියෙන් අපි නැවත තැනකට ආවා අපි දිහා බලන් හිටපු අය පුදුමයට පත්කරමින් අපේ අලුත් ව්‍යාපාරය නැගිටලා ආවා කොලබින් ඉන්න හිටින්න ගෙවල් ගත්තා අම්මලා අපි තුන් දෙනාටම හොදට ඉගැන්නුවා රට රටවල් වල යැව්වා. ඒ දවස් වල වෙච්ච් දේවල් කටුක මතකයන් විතරක් නෙමේ අපේ ජිවිත වලට ලොකු අත්දැකීම් සහ පාඩම් කියලා දුන්නා.
             අද තාත්තයි මායි බෙල්ලන්විල ආවේ මං අලුතින් ගත්ත ගෙදර ගණ දෙවියන්ට බාර කරන්නයි ඊයේ පෙරේදා ගත්ත මගේ පලවෙනි කාර් එක කතරගම දෙවියන්ට බාර කරන්නයි සුපුරුදු පරිදි බෙල්ලන්විල එන හැම වාරයකදීම සුනියම් දෙවියන්ට පුජා වට්ටියක් පුජා කරනවා. මේ දේවල් ගැන මිශ්‍ර විශ්වාසයක් මගේ හිතේ තිබුනත් අපට සිදු වුනු දේවල් එක්ක මේවා ඇත්ත කියලා විශ්වාස කරන්න මගේ හිත කැමතියි අපි දෙවියන්ගෙන් පිහිට ඉල්ලුවා කියලා එවෙලම අපිට මොකුත් මවලා දුන්නේ නැහැ අපි ගොඩක් මහන්සි වෙලයි මේ දේවල් ලබා ගත්තේ නමුත් එහෙම මහන්සි වෙන්න ශක්තියක් දහිරියක් ලබා ගත්තේ අපි මේ දේවල් කරලා. මිරිස් කරල එක්ක දෙහි ගෙඩි තුනක් කාර් එකේ එල්ලලා සුදු පාට පුංචි බුදු පිලිමෙකුත් ඩෑෂ් බෝඩ් එකේ අලවාගෙන තුන් පාරක් ස්ටිරින් එකට වැදලා කාර් පාර්ක්‌ එකට රුපියල් 20 කුත් ගෙවලා පාරට වාහෙනේ දානකොට හිතුවා මේක ගැන පොස්ට් එකක් දානවා කියලා ඔන්න එහෙනම් දැම්මා. තව ලියන්න දේවල් ගොඩක් තියනවා හිමිට‍ ලියන්නම්.
 ජය වේවා 

Tuesday, July 9, 2013

සිංගප්පූරු අනාථ සිහින 2


"මල්ලි තාම ලොක්කා ඇවිල්ලා නැහැලු ආවම ඔක්කොම කියලා දෙයි දැන් පොඩ්ඩක් එහෙ මෙහෙ බලාගන්නකෝ"

"හොදයි අයියේ අපිට මොනාද කරන්නේ තියෙන්නේ"

"ඔය තියන වැඩක් කරන්න තමා මල්ලි බය වෙන්න එපා ඒක නෙමේ මල්ලි සල්ලි ටික තියනවා නේ ලැස්ති කරගන්නකො"


අද එතැන් සිට.

"අපිට පොඩ්ඩක්වක් සැක හිතුනේ නැහැ අයියේ ලංකාවේදී අපේ සල්ලි ටික අරගෙන රට සල්ලි වලට මාරු කරලා ආපහු අපේ අතටම දුන්නනේ"

"අනික අපි සිහින මාලිගාවක අතර මං වෙලා හිටියේ අපේ ඌව දැක්කේ දෙයියෙක් වගේ අපි අහන්න කලින්ම සල්ලි ටික දුන්නා"

"දැන් නම් ඕකව අහුවුනොත් කම්බස්‌ කරනවා මූ  ටික වෙලාවක් කැරකි කැරකි ඔරලෝසුව දිහා බලන් හිටියා මල්ලි මං මුද්දරයක් අරං එන්නම් කියලා පල්ලෙහාට ගියා අනේ ගියා ගියාම තමා අයියේ බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන අපි දොර ලගට ගියා එතනත් පැය දෙකක් හිටියා බැරිම තැන අරු කතා කරපු සික්කා ලගට ගිහිං පුළුවන් විදියට අපිත් එක්ක ආපු කෙනා කෝ කියලා ඇහුවාම මගේ අතේ තිබ්බ ප්ලාස්ටික් කැල්ල උදුරගෙන අපේ බෑග් ටික අපිට ආපහු දුන්නා  අපි කියවපුවා එකක් වත් ඌට තේරුනේ නැහැ බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන තමා අයියේ ඇඩුනේ  එතකොට තමා ඔයාලව හම්බ වුනේ "

  මුන්ව රැවටිලා තියන විදිය ඇහුවාම මට අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බැරි වුනා පව් වැඩේ මුන් මෙච්චර මෝඩ හින්දා තමා මෙච්චර ගොන් විදියට රවට්ටලා තියෙන්නේ මොනවා කරන්නද දැන් බලමු ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා

"මල්ලි ඔයාලා ඔහොම රැවටිච්චී පලවෙනි සෙට් එක නෙමේ අන්තිම සෙට් එකත් නෙමේ ඒක හින්දා හොදට කල්පනා කරලා වැඩ කරන්න. ඔයාලා පොලිසියට ගියා කියලා ලොකු වැඩක් වෙන්නේ නැහැ ඔයාලා ගාව සාක්ෂි මොකුත් නැහැනේ අනික ජොබ් කරන්න ආවා කිව්වා ගමන් පොලිසියෙන් එවුන් බලන්නේ ඔයාලව ඉක්මනටම ලංකාවට යවන්න"

"ඔයාලට කරන්නේ තියෙන්නේ ක්‍රම දෙකයි එකක් පොලිසි ගිහිං ඇන්ට්‍රි එකක් දාලා අනිත් පැත්තට ලංකාවට ගිහිං එහෙත් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා අර අදුරනවා කිව්වා අයියා හරහා අරුව හොයා ගෙන සල්ලි ටික ගන්න උත්සහ කරන එක.  ඒක බැරි වුනත් එකෙන් අරුට ආපහු උබලා වගේ කොල්ලොන්ව අමාරුවේ දාන්න බැරි වෙයි"

"අනිත් ක්‍රමේ තමා ආපු වලෙන්ම ගොඩ එන්න කියලා හිතාගෙන මෙහෙ ඉන්න එක උබලගේ දැන් ඔය විසා එක ඉවර වෙන්න කලින් ඉන්ටෙර්නෙට් එක හරහා තව මාසයක් විසා දික් කරගන්න පුළුවන් ඊට පස්සේ මැලේසියා බොර්ඩර් ක්‍රොස් කරලා ආය ආවම තව මාසයක් හම්බ වෙනවා ඊටත් පස්සේ ඉතින් මල්ලි හිටියොත් උබලට ඉන්න වෙන්නේ හොරෙන් විසා නැතුව තමා ඒකට කියන්නේ පුසා වෙනවා කියලා  හොරෙන් ඉදලා පොලිසියට අහුවුනොත් පුකට කස පාරක් තුනක් ගහලා හිරෙත් ඉදලා තමා ලංකාවට යන්න වෙන්නේ එකට කියන්නේ පුසා ලේනා වෙනවා කියලා.උබලට පිගන් හෝදන රස්සාවක් හරි කර ගන්න පොඩ්ඩක් හරි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනි අඩුම ගානේ මුන් කියන එකේ තේරෙන්න හරි ඕනි. මං ඔය කිව්වා විසා දික් කරගන්න වැඩ ටික කරගන්න වෙන්නේ උබලට තනියම තමා. මල්ලි මෙහෙ උබලව බලා කියාගන්න උදව් කරන්න කවුරුත් නැහැ හැමෝම ගේම ගහගන්නේ බොහම අමාරුවෙන්. ඔය ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් වුනත් උබලා දවසට පැය 15 ක් වැඩ කරත් උබලට ලංකාවේ සල්ලි වලින් ලක්ෂයක් විතර තමා මාසෙටම හොයන්න වෙන්නේ කෑම බිම ඉදුම් හිටුම් වලට අඩුවෙන්ම වියදම් කරලා   විසා වැඩ වලටත් ගියාම උබලට පිච්චියක්වත් ඉතුරැ වෙන්නේ නැහැ බන් උබලට තේර්නවනේ මම කියන දේ උබලගේ හොදට කියන්නේ කල්පනා කරලා තීරණයක්‌ ගනින්"

"මතක තියාගනින් මචං මේ සේරම කරදර අස්සේ දුක් විදලා හොදට හම්බ කරන එවුනුත් ඉන්නවා ඒ වගේ එකෙක් තමා උබලව ඔය ගෙනල්ලා අතරමං කරෙත් බාග වෙලාවට ඌත් උබලා වගේ ඇවිල්ලා අතරමං වෙච්ච් එකෙක් වෙන්න ඇති අනේ මන්දා බන් මේ මිනිස්සු උබලටත් කාගේ හරි බෙල්ලක් මිරිකලා සල්ලි හම්බ කරන්න පුලුවන්නම් නතර වෙයන් "  අපි බොහොම පැහැදිලිව උන් තුන්දෙනාට කරනු කාරනා පැහැදිලි කරලා දීලා එතන තිබ්බ ෆුඩ් කොර්ට් එකට එක්ක ගිහිං කන්න අරන් දුන්නා මුන් කන ගමනුත් බොහොම දුකෙන් මුණු මුණු ගානවා අපිට මෙයාලව මෙතන දාලා යන්නත් බැහැ පව් වැඩේනේ"

"අයියේ අපිට ලංකාවට කෝල් එකක් ගන්න විදියක් නැද්ද"

මම බොහොම දුකෙන් මගේ ෆෝන් එක දුන්නේ මමනේ දන්නේ රිලෝඩ් එකක් දාගත්ත අමාරුව. උන්ගේ ගෙදරට විස්තරේ කිව්වට පස්සේ මුන්ට නැවත ලංකාවට එන්න කියලා කිව්වලු එත් හිටපු එක මල්ලි කෙනෙක් ආපහු යන්න කැමති නැහැ තාත්තා වැඩ කරන කුබුර උගස්‌ තියලා තමා  මිනිහා මෙහෙ ඇවිත් තියෙන්නේ අනේ අයියේ මොනවා හරි උදව්වක් කරන්න කරලා දෙන්න කියලා අපිට ඇවිටිලි කරනවා

"අපිට කරන්න පුළුවන් දේ තමා මල්ලි මේ කරන්නේ වෙන එවුන් නම් මෙච්චර කරන්නෙත් නැහැ උබලට පොලිසිය ලගට ගිහිං දාලා යයි යන්න නවතින්න තැනක් හොයාගන්නවත් උබ ගාව සල්ලි නැහැනේ "

"මට ආපහු යන්න බැහැ අයියේ ඊට වඩා හොදයි බෙල්ලේ වැල දාගෙන මැරෙනවා අපිට තිබ්බ එකම කුබුර අයියේ මට රට එන්න උගස්‌ තිබ්බේ "

අවසානයේදී ඒ මල්ලි තීරණය කරා කොහම හරි ඉන්නවා කියලා අපිට ඉතින් ඊට වඩා කියන්නත් බැහැනේ අරුන් දෙන්නව එතන ලග තිබ්බ පොලිස් ස්ටේෂන් එකට එක්ක ගිහිං ඇන්ට්‍රියක දම්මලා ඉන් පස්සේ එයාර් ලයින් එකට කතා කරලා වෙච්ච් සිද්දිය පැහැදිලි කරලා සති දෙකකට පස්සේ දිනයක තිබ්බ රිටර්න් ටිකට් එක ඊලග දවසට හදා ගත්තා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හන්දා හොදා. එදා රැ මුන්ට ඉන්න තැනක් තිබ්බ නැති හින්දා අපි තාවකාලිව නතර වෙලා  හිටපු ගෙදරක්  කරන අයියට විස්තරේ කිව්වාම එක දවසක් ඉන්න කියලා අවසර දුන්නා අර නතර වෙන මල්ලි නාහෙන් අඩලා දවස් දෙක තුනක් ඉන්න අවසර ගත්තා අපේ කරදර ඊලග දවසවෙත් ඉවර වුනේ නැහැ මුන්ගේ අතේ තිබ්බ ලංකාවේ සල්ලි ටික මාරු කරවලා මෙයාලව එයාර්පොර්ට් එකට ටැක්සිය පිටත් කරා ගුවන් තොටුපලේ නම් ලංකාවේ අය ඕනි තරම් ඉන්න හින්දා කරදරයක් නැතුව අහගෙන කර ගෙන යන්න පුළුවන් අර නතර වුන මල්ලිට නම් මොනවා වුනාද දන්නේ නැහැ. අපි මෙයාලට උදව් කරේ අපි ආමාරුවේ වැටුන වෙලාවේ අපි කොච්චර අසරණ වුනාද කියලා අපි හොදින්ම දන්නා හින්දා.
                   ඔන්න ඔහොමයි පිටරටවල තත්වේ සින්ගපුරුවේ විතරක් නෙමේ මැලේසියාවෙත් මේ සෙල්ලම බරටම වෙනවා මැලේසියාවේ නම් නීති එච්චර තද නැති හින්දා ගොඩක් එන අය නතර වෙනවා පහුගිය දවසක මැලේසියාවේදී ඔහොම අතරමං කරපු කොල්ලෝ සෙට් එහෙකට අවුරුදකට විතර පස්සේ මුන්ව ගෙනාපු පොරව නයිට් ක්ලබ් එකක් ඇතුලෙදි හම්බ වෙලා ආය මොන කතාද වට වෙලා නෙලලා. හොදට ගුටි ගුටි කාලා පොලිසියෙන් එද්දී අරු මැරිලලු පිස්සු හැදෙනවා නේ. ඔයාලගෙත් දන්නා අයව මේ පිළිබද දැනුවත් කරන්න රට රස්සා දෙනවා කියන මිනිස්සුන්ගෙන් සීයට අනුනමයක්ම ඉන්නේ බොරු කාරයෝ. ලංකාවේ මහා කොමසාරිස් කාර්යාලයක් එහෙ තිබුනට මෙව්වා ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැහැ ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ දේශපාලනික දේවල්නේ  එහෙනම් මම නවතිනවා.
 ජය වේවා.

Monday, July 8, 2013

සිංගප්පූරු අනාථ සිහින


මුස්තාෆා එක කියන්නේ එහෙ තියෙන්නේ ලොකු ෂොපින් මෝල් එකක් එකේ නැති මගුලක් නැහැ සින්ගපුරු යන එන හැමෝම මුස්තාෆා එකට ගොඩ වදිනවා ඉතින් ලස්සන ගෑනු ළමයි එහෙමත් වැහි වහලා :D අපි මේ ඒ පැත්තට යන්නේ පොඩි රස්තියාදුවක් ගහලා එන්න ටික දුරක් යනකොට අපිට ඇහෙනවා අඩන සද්දෙකුයි කාටද මහා හයියෙන් සිංහලෙන් බනින සද්දෙකුයි අපි වට පිට බැලුවා කොහෙන්ද සද්දේ එන්නේ කියලා එතන ලග බංකුවක ලංකාවේ කොල්ලෝ තුන් දෙනෙක් ගෙන් තමා මේ සද්දේ එන්නේ අපිට අහක බලං යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ එතන හිටපු පොඩි මල්ලි කෙනෙක් අසරණ විදයට අපි දිහා බැලුවා උනුත් දැන ගත්තා අපි ලංකාවේ කියලා හිමිට අපි එතනට ගියා.

"මොකෝ මල්ලි කේස් එක?"

"අනේ අයියලා ලංකාවේද ? අනේ අයියේ අපිට පොලිසියට යන විදිය කියන්න පුලුවන්ද ?

"ඇයි මල්ලි මොකද්ද ප්‍රශ්නේ ඔයාලා අදද මෙහෙ ආවේ?" මම ඇහුවේ උන් ගාව තියන බෑග් දිහා බලලා

"ඔව් අයියේ අද පාන්දර අපි ආවේ අපි ගම දෙහිඅත්තකණ්ඩියේ අපි තුන් දෙනාටම මෙහෙ ජොබ් හොයලා දෙන්නම් කියලා අයියා කෙනෙක් අපිව මෙහෙ එක්කන් ආවා මෙහට ආවට පස්සේ අපේ සල්ලි අරන් ඌ යන්න ගියා අයියේ අපි උදේ ඉදන් බලන් ඉන්නේ ඌ එනකම් අපි තාම කාලත් නැහැ "

මම දැන ගත්තා මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ ජාවරම සිංගප්පූරුවේ බොහොම ප්‍රසිද්ධ ඉතාම පහසුවෙන් සල්ලි හොයන කූට ව්‍යාපාරයක් මේකෙදි කරන්නේ මෙහෙ ඉදලා ලංකාවට යන ඩයල් එකක් බොරු පුරාජෙරුව දාල  මෙහං ජොබ් එකක් හොයලා දෙන්න පොරොන්දු වෙනවා මෙන්න මේ වගේ ටෝල්ක්ස් තමා දෙන්නේ.

"මොකටද අයිසේ මෙහෙට වෙලා දහදාහට පාලොස් දාහට මැරෙන්නේ එහෙ එනවකො අයිසේ ලක්ෂයක් දෙකක් මාසෙකට ගන්න පුළුවන්නේ "

"මේකයි මල්ලි ඇත්ත සිං කොන් එක සතියට දවස් 5 ක් පැය අට ගානේ වැඩ කරන්න ඕනි 8 ට වඩා වැඩ කරොත් OT හරිද ? සෙනදුරාදා ඉරිදා නිවාඩු උබලට කැමති නම් ඒ දවස් දෙකේ පාර්ට් ටයිම් කරලා තව ගානක් හොයා ගත් තැකි"

"පොඩ්ඩක් කට්ට තමා මල්ලි ඒ වුනාට මොකද අවුරුදක් දෙකක් දුක් විදලා කියක් හරි හොයාගෙන බිස්නස් එකක් කරගෙන ආතල් එකේ ඉන්නනෙ තියෙනෙන් දැන් බලපං මං දිහා යකෝ මම මුලින්ම යනකොට අතේ පිච්චිය නැතුව ගියේ මෙලෝ දෙයක් දන්නේ නැහැ අවුරුදු දෙකයි මං හරියට ගේම ගැහුවා උබලා දන්නවද මම ගිය මාසෙට 4  පාරක් ලංකාවට ඇවිල්ලා ගියා ටිකට් වියදමම ලක්ෂ 2 පැන්නා මම මාස දෙක තුනකට පාරක් ගෙදර මිනිස්සුන්වත් එක්ක යනවා රවුමක් දාලා එන්න"

"මල්ලි හැබැයි මම බොරු කියන්නේ නැහැ සැප විදින්න බලාගෙන නම් එන්න එපා එහෙම නම් රට යන අදහස හිතෙන අයින් කරගනින් පොඩ්ඩක් මහන්සි වෙලා ලක්ෂයක් දෙකක් හොයා ගන්න කැමති නම් වරෙන්"

"මල්ලි මේ කාලේ මිනිසුන්ව විස්වාස කරන්න බැහැ උබට මාව වුනත් විශ්වාස කරන්න බැහැනේ මට මුලින් සත පහක් එපා උබ ටිකට් එක විතරක් ගනින් රටට ගොඩ බැහැලා වැඩ කරන තැනට ගියාම මට ලක්ෂයක් දියන් වෙන එවුන් රට යවන්න ලක්ෂ පහ හය ගන්නවා මම නම් සාධාරණ මනුස්සයෙක් මල්ලි විසා එකේ වැඩ වලට ගියාම මට ඉතුරු වෙන්නේ පොඩි ගානක්"

"උබ ගාව සල්ලි නැහැ නේ අවුලක් නැහැ මට තේරෙනවා මල්ලි මාත් උබේ තැන ඉදලා ආපු එකෙක් නේ මට ලොකු ඕඩරයක් ඇවිත් තියෙන්නේ  මට කොල්ලෝ පස් හය දෙනෙක් සෙට් කරලා දීපන් උබ ටිකට් එක විතරක් ගනින්  උබට උදව්වක් විදියට උබව නිකම් ගෙනියන්නම් පස්සේ කාලෙකට උබ මට කියක් හරි දීපංකො"

මෙන්න මේ වගේ එකී නොකී සුරංගනා ලෝක මවලා ගම් වල ඉන්න අහිංසක කොල්ලෝ රවට්ට ගන්නවා උන් දන්නේ නැහැ සිංගප්පූරු වල on arrival විසා දෙනවා කියලා සල්ලි අතේ තියන් එන ඕන අපතයෙකුට ශෝපින්ග් කරන්න ආවේ කිව්වා ගමන් දවස් 14 කට හෝ දවස් 30 කට විසා වදිනවා ඔය පහසුකම ප්‍රයෝජනයට අරගෙන තමා අපේ එවුන් ජඩ වැඩ කරන්නේ ලගදීම ලංකාවේ එවුන්ට ඕක නැති කරනවා ඉන්දියාවට කරා වගේ.

කොහම හරි අර කොල්ලෝ තුන් දෙනාට ෆ්ලයිට් එකේදී ලියුම් තුනක් දීලා මේක තමා මල්ලි විසා එක මේක පෙන්නපං ඉමිග්රේෂන් ඔෆිසර් ට කියලා මම ලියුම ඉල්ලං බැලුවා එක මගුල් විසා එකක් නෙමේ එහෙ තිබ්බ ක්ලබ් ක්‍රිකට් මැච් එකක් බලන්න ඉන්විටේෂන් එකක් මුන් තුන් දෙනාට ඉංග්‍රීසි අකුරක් බැහැ මට මුන් එකක් තරහක් වගේම දුකක් හිතුනා

"පොඩ්ඩක් හොයලා බලන්ඩ එපයි මල්ලි එන්ඩ කලින්"

"හොදට අදුරන අයියා කෙනෙක් අයියේ අපිට අරුව අදුන්නලා දුන්නේ අනේ අයියේ අපි දැන් මොකද කරන්නේ"

"උබලා බඩගින්නේ නේද යමු මොනා හරි කාලා ඉමුකො"

"අපි ලග මෙහෙ සල්ලි නැහැ අයියේ රුපියල් 5000 ක් විතර තියෙන්නේ"

"යමුකෝ යමුකෝ "

අපිටම තමා ඉතින් කෙලවෙන්නේ කියලා හිතාගෙන කතාවේ ඉතුරු ටික අහගෙන කඩේ පැත්තට ගියා.

"අයියේ එයාර්පොර්ට් එකේ හිටපු චීනා අරුගෙන් මොනාද අහලා අහලා අපේ පාස්පෝර්ට් පොතට සිල් එකක් ගැහුවා අපේ හිතේ තිබ්බ බරක් හැල්ලු වුනා අයියේ අපි හිතුවා අපේ කරදර ඉවරයි තමා කියලා"

ඉන්පස්සේ   කෙලින්ම එක්කං තියෙන්නේ මුස්තාෆා ෂොපින්මෝල් එකට මෙයාලගේ බැග්ස් ටික කවුන්ටර් එකේ තියන ගමන් ආපු ඩයල් සික්කත් එක්ක කඩ්ඩෙන් මොනාද කතා කරාලු ඉන් පස්සේ  මෙයාලා දිහාට හැරිලා කිව්වලු  මල්ලි මෙතන තමා ඔයාලට වැඩ කරන්න තියෙන්නේ ඇතුලට යමුකෝ  කියලා මෙන්න මේක අතේ තියා ගන්න කියලා බෑග් ටෝකන් එකත් දීලා ඉන් පස්සේ උඩ තට්ටුවට එක්ක ගිහිං

"මල්ලි තාම ලොක්කා ඇවිල්ලා නැහැලු ආවම ඔක්කොම කියලා දෙයි දැන් පොඩ්ඩක් එහෙ මෙහෙ බලාගන්නකෝ"

"හොදයි අයියේ අපිට මොනාද කරන්නේ තියෙන්නේ"

"ඔය තියන වැඩක් කරන්න තමා මල්ලි බය වෙන්න එපා ඒක නෙමේ මල්ලි සල්ලි ටික තියනවා නේ ලැස්ති කරගන්නකො"

පොස්ට් එක දිග වැඩි වගේ ඊලග පොස්ට් එකෙන් බලමු මල්ලිලා ටිකට මොකද වුනේ කියලා අදට නවතින්නම් ජය වේවා .

Friday, July 5, 2013

සිංගප්පූරුවේ කාපු චාටර් 2


කාපු චාටරේ ගැන පහු ගිය ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලලා එන්ඩලා පහු ගිය ලිපිය ඉවර වුනේ අපි පොලොසියට කතා කරාට පස්සනේ කෝල් කරලා මිනිත්තු පහක් ගියේ නැහැ මෙන්න තොරණ වගේ ලයිට් පත්තු වේවි පොලිස් කාර් එක ආවා එකෙන් බැස්සේ චීන ජාතික පොලිස් මහත්මයෙක් සහ මැලේ ජාතික පොලිස් මහත්මයෙක් මෙන් දෙන්නා ආවා අපි ලගට කාගේත් හොදට ඉංග්‍රීසියෙන් වෙච්ච දෙබස මම සිංහලෙන් දාන්නම් හොදේ චීනා මම ලගට ඇවිල්ලා ඇහුවා සර් මොකද්ද ප්‍රශ්නේ කියලා එහෙම තමා එහෙ පොලිසියෙන් හැමෝටම සර් කියලා කතා කරන්නේ මම පැහැදිලි කරලා දෙන්න හදද්දීම අර ලෝයර් ඉන්දියන් කාරයා මැදට පැනලා කියෝගන කියොගන ගියා චීනා පොර දිහා අතින් සන් කරා කතා කරන එක නතර කරන්න කියලා අරු බල්ලා වගේ කටවහත්තා සර් මම මෙයාගෙන් ප්‍රශ්නේ අහලා ඔයා ලගට එන්නම් ඔයාගේ ප්‍රශ්නේ අහන්න පොඩ්ඩක් ඉවසන්න මුන් ඔක්කොම කතා කරන්නේ කැඩිච්ච ඉංග්‍රීසි ඕන යකෙට්ට තේරෙනවා ඒ බාසාව ඉතින් ආපහු චීනා මං පැත්තට හරුනට පස්සේ මම බොහම දුක හිතෙන විදියට අපේ කතාව කිව්වා ඊට පස්සේ අරුන් ලගට ගිහින් උන්ගේ කතාවත් ඇහුවා.
                                                                 ඇත්තම බැලුවොත් වැරැද්ද අපෙනේ ඒක මට චීන පොලිස් අයියා පැහැදිලි කරලා කිව්වා ඉන්පස්සේ  අරුන්ට කිව්වා මෙයාලා දැන් අමාරුවේ වැටිලා ඉන්නේ ඔයාලා උදව් කරන්න කැමතිද කියලා ඇහුවා අර බුරුවා ගත් කටටම බැහැ කිව්වා උන්ගේ වෙච්ච පාඩුවට ඩොලර් 1000 ක්ම ඕනිලු ඒ පාර නැවත චීන පොලිස් ටිකක තදින් කිව්වා මෙයාලා ස්ටුඩන්ට් ලා මේ වෙලාවේ හැටියට ඩොලර් 1000 ක් ගන්න එක අසාධාරණයි ගාන අඩු කරන්න කියලා අර බුරු ඉන්දියන් ලෝයර් පොලෝසිය එක්කත් ගේම ඉල්ලනවා නීති කතා කරලා අන්තිමට බෝකර් ගේ සහ අයිතිකරුගේ මැදිහත් වීමෙන් එයාලට වෙච්ච පාඩුව හැටියට ඩොලර් 500 ක් ගෙවන්න සිද්ද වුනා අපෙන් උන්ට වෙච්ච පාඩුව මොකද්ද අපි හින්දා පැය 7 ක් රස්තියාදු වීම සහ ලෝයර් ගාස්තු විතරයි ඕකට තමා 500 ක් ඉල්ලුවේ එත් ඒ වෙලාවේ හැටියට අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ අපේ අතෙනේ වැරැද්ද.
                                            අපි ගාස්තු ගෙව්වට පස්සේ බෝකර් සහ අයිතිකරු ලෝයර් එක්කම යන්න ගියා පොලිසිය අපෙන් ඇහුවා දැන් ඔයාලා කොහෙද යන්නේ කියලා අපි කිව්වා අපි යාලුව්ක්ගේ ගෙදර යනවා කියලා ඉන් පස්සේ උනුත් ගියා අපි එහෙම කිව්වට අපිට යන්න තැනක තිබ්බේ නැහැ අපි ගෙදරට ගත්ත ඇදවල් සෝෆා මේස අපේ ඇදුම් බෑග් එක්ක අපි ෆ්ලැට් එකක් යට තනි වුනා වුනේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ ඒ මදිවට මැරෙන්න තරම් බඩගිනි මුලින්ම අපි කරේ කිරි පැකට් ගෙනල්ලා බීපු එක ඉන්  පස්සේ අපේ ෆෝන් වල සල්ලි ඉවර වෙනකම් අපි දන්නා අදුනන යාලුවන්ට කතා කරා නවත්නින්න තැනක් හොයාගන්න කලින් පාර සල්ලි ඉල්ලන කතා කරපු හින්දා ගොඩක් අය ෆෝන් ආන්සර් කරේ නැහැ ඔන්න නමුත් ඒ අය පස්සේ මුනට හම්බවුනාම නම් කිව්වේ අඩෝ මට ඇහුනේ නැහැනේ නැත්නම් අපේ ගෙදර ගෙන්න ගන්නවනේ කියලා ඔන්න ඔහොමයි යාළුවො කොහෙමෙන් කොහම හරි අපි දැන ගත්තා අපිට අද ඉන්න තැනක් නැහැ කියලා ඊට පස්සේ අපි හෙව්වේ බඩු ටික දාන්න තැනක් අර මනේ කියන පොරගේ මල්ලි හිටියෙත් එහෙමයි උන් දෙන්නා තරා හින්දා වෙනම හිටියේ කොහම හරි මම කියලා කියලා මනෙට කියලා මල්ලිට කතා කරලා උන්ගේ ගෙදරට අපේ ඇදුම් බෑග් ටික විතරක්  දාගන්න කතා කරගත්තා, ඌ හිටපු කාමරේට අපේ අඩුම බෑග් ටික දැම්මෙත් බොහම අමාරුවෙන් මල්ලි හිටපු  කාමරේ තිබ්බේ ගේලන්ග් කියන පැත්තේ ඒ පුංචි කාමරේ  හැරෙන්නත් ඉඩ මදි එත් 8 දෙනක් නිදා ගන්නවා මාරුවෙන් මාරුවට තමා නිදා ගන්නේ ඔන්‍න‍ ඔහොමයි එහෙ ජිවිතේ.
                             අපි අමාරුවෙන් එකතු කරගත්ත අපේ බඩු ටීකා දාලා අපේ ඇදුම් විතරක් අරන් ගියේ හිතේ බොහොම දුකෙන් හෙට උදේට එනකොට මේ ටික නැහැ කවුරු හරි අරන් යයි එත් ඉතින් මොනා කරන්නද අපේ ඇදුම් ටිකත් අරගෙට දැම්මට පස්සේ අපි අපිට නවත්නින්න තැනක් හෙව්වා මුලින්ම කතා වුනේ හොටෙල් එක්ක නතර වෙන්න ඊට පස්සේ අපි කල්පනා කරා අපි ලග තියෙන්නේ දැන් ඩොලර් 1000ක් විතරයි අපි හෙට කොහමත් ඉන්න කාමරයක්  හොයාගෙන එකට ඩිපොසිට් දෙන්නත් ඕනි ඇත්තටම අරුන් තුන්දෙනවා දාලා මගේ ඩොලර් 1000 අරන් මට කාමරයක් හොයාගන්න තිබ්බේ එත් එකට කාපු බීපු එවුන්ව එහෙම දාලා යන්න මට බෑ ඒක හින්දා අපි තීරණය කරා සල්ලි ඉතුරු කරගන්න පාරේ හරි ඉමු කියලා දැන් වෙලාව 10 ට විතර ඇති කෙලින්ම අපි ගියේ කෑම කඩේකට ගිහිල්ලා ඩොලර් 2 කේ බත් 4 ක් කෑවා ඉන් පස්සේ අපි කොහේ හරි පාර්ක්‌ එක්ක නිදා ගන්නවා කියලා හිතාගෙන පාර්ක්‌ එකක් හොයාගෙන ඔහේ ඇවිද්දා අපේ කරුමෙට ඒ හරියේ පාර්කුත් නැහැ ඇවිදිනකොට අපිට එහෙ නැෂනල් ස්ටේඩියම් එක ලගින ගියා අපි දැක්ක ඒ හරියේ කවුරුත් හිටියේ නැහැ දෙපාරක් හිතන් නැතුව ස්ටේඩියම් එකට ලගින අලි පඩි තාවකාලික ඇද කරගන්නවා කියලා හිතා ගත්තා.
                                                      හිතේ අමාරුවටයි ඇගේ අමාරුවටයි පඩිය උඩ දිග ඇදුනට නින්ද අහලවත් තිබ්බේ නැහැ කට්ටිය සද්ද නැතුව මොකද්ද මේ අපිට වුනේ කියලා කල්පනා කරා අපිට ගොඩක් තැන් වල වැරදුනා මොකද කවදාවත් නැතුව ඉන්දියන් හැත්තව විස්වාස කරා අනික අන්තිම මොහත වෙනකම්ම් බලන් හිටියා මෙව්වා කලින් කරගන්න තිබ්බ කොච්චර හිතුවත් පුදුම දුකක් තරහක් හිතේ තිබුනේ වෙනදට ක්ලබින් ගිහින් ආරහේ මෙහෙ ගිහින් කොච්චි පටන් ගන්නකන් ස්ටේෂන් වල නිදාගත්තට යන්න එන්න තැනක් නැතුව හිගන්නෝ වගේ මෙහෙම නිදා ගෙන ඉද්දි එන හැගීම පුදුම වේදනාවක් දෙන්නේ අන්තිමට පාන්දර 4 ට විතර පොඩ්ඩක් නින්ද ගියා එත් පැයබාගයක් නිදා ගන්න වුන්නේ නැහැ එලිය වැටිලා එහෙමම අපි එතන ස්ටේෂන් එකෙන් මුණ කට හොද ගෙන ලිටිල් ඉන්ඩියා පැත්තට ගිහින් ඉන්න තැනක් හෙව්වා අන්තිමට අපිට එලොවටත් නැති මෙලොවටත් නැති කොල්ලෝ 30 ක් විතර ඉන්න මකුණෝ පිරිච්ච ගරා වැටිච්ච බිල්ඩිමක අපාර්ට්මන්ට් එකක් හම්බ වුනා ඒ වෙලාවේ හැටියට දිවියලෝකයක් හම්බ වුනා වගේ අරුන් තුන් දෙනා ලගම සල්ලි නැති හින්දා මම උන්ටත් එක්ක ඩිපොසිට් දුන්නේ පස්සේ දවසක උන් ගෙදරින් සල්ලි ගෙන්නාගෙන මට සල්ලි දුන්නා නමුත් අදටත් මම උන්ට කරපු උදව් අමතක නැහැ ඒක ලොකු සතුටක් මට ඔන්න ඔහොමයි සින්ගපුර් ජීවතේ, අපි මේ කරදරේ වැටිලා ඉද්දිත් කරපු හොද වැඩක් ගැන ඊලග පොස්ට් එකෙන් දාන්නම් අදට නවතිමි.

Sunday, June 30, 2013

සිංගප්පූරුවේ කාපු චාටර්



                                                     ටික දවසකින් මොකුත් ලිව්වේ නැත්තේ ලියන්න මුඩ් එකක් නැති හින්දා ඔන්න පුංචි මුඩ් එකක් ඇවිල්ලා මම කාපු තවත් කටු රාජයෙක් ගැන ලියන්න යන්නේ මේක වුනෙත් මම සිංගප්පූරුවේ හිටපු කාලේ තමා අදටත් මතක් වුනාම දුකක් සහ කේන්තියක් එන්නේ මේ සිද්දිය ගැන, මේ සිද්දිය වෙනකොට මමත් එක්ක එහේ එකට හිටපු රජා නිවාඩුවට ලංකාවට ආවා ඒ දවස් වලම වගේ අපි හිටපු ගෙදර බොහෝදෙනෙක් එයාලගේ ඩිග්රි එක ඉවර වෙලා ලංකාවට යන්න සුදානම් වෙලා හිටියේ ඉතින් ගෙදර අයිතිකාරයත් ගේ ආපහු ඉල්ලපු හින්දා අපිට එහෙං යන්න වෙලා තිබ්බේ මමත් එක්ක ෆිට් එකේ හිටපු කොල්ලෝ තුන්දෙනෙක් තමා මනේයි කලුවයි කිෂෝයි ඉතින් අපි හතර දෙනා කතා වුනා තව කොල්ලෝ ටිකක් හොයාගෙන ගෙයක් කරන්න මොකද සිංගප්පූරු වල ගෙයක් කරනවා කියන්නේ හෙන ලාබදායි ව්‍යාපාරයක් අපේ ජිවන වියදම සැහෙන්න අඩු වෙනවා හැබැයි ලොකු ටෝල්ක් දුන්නට අරුන් තුන්දෙනා ගාවම සල්ලි තිබ්බේ නැහැ හිදිලා කියන්නේ උන් නට්ටේටම හිදිලා තිබ්බේ කන්නවත් සල්ලි තිබ්බේ නැහැ උන් වැඩ කරපු තැනින් පඩි දෙන්න මාස 3ක් විතර පරක්කු වෙලා ඉතින් වැඩි බරක්  වැටුනේ මට තමා .
                                                                      එහේ ගෙයක් කරනවා කියන එක ලේසි නැහැ ගොඩක් සල්ලි යන වැඩක් අපි බලපු අපාර්ට්මන්ට් එකට මාසෙකට ඩොලර් 2000 ක් ගෙවන්න වෙනවා ඉතින් ගේ ගන්නකොට මාසෙක රෙන්ට් එක  ඩිපොසිට් එකක් විදියට තියන්න ඕනි ඊට අමතරව තව රෙන්ට් ඒකෙන් බාගයක් බෝකර් ගාස්තු විදියට ගේ හොයල දෙන බෝකර්ට දෙන්න ඕනි එක තමා එහේ නිතිය ඉතින් මෙච්චර ගානක් අපිට හොයාගන්න අමාරු හින්දා අපි ගෙදරට ගන්න කට්ටියව හොයන්න ගත්තා ඒ වෙනකොට අපේ හිටපු ගෙදර හිටපු ඉන්දියන් කාරයෝ තුන්දෙනෙක් ඔන්න වැඩේට සෙට් වුනා උන්ගෙන් ඩොලර් 1500 ක් එනවා මං ගාව 1500 ක් තිබ්බා තව ඩොලර් 2500 ක් ඕනි ඉතින් ඔය මාත් එක්ක හිටපු මනේ කියන පොර හෙන චරිතේ පොරට කොහේ ගියත් යාළුවො වැහි වැහලා ලිට්ල් ඉන්දියා පැත්තේ ගැන්සි බැහැපු එකෙක් තමා ඩයල් එක ඉතින් මිනිහා තව ලංකවේ කොල්ලෝ දෙනෙක් සෙට් කරා උන්ගෙනුත් 1000 ක් එනවා තව 1000 මනේ දාන්නම් කිව්වා කළු ගාවයි කිෂෝ ගාවයි සල්ලි තිබ්බෙම නැහැ උන් පඩි ගත්තාම තමා රෙන්ට් එක දෙනවා කිව්වෙත් මොනවා කරන්නද උන්ව දාලා යන්න බැනේ එත් තව 500 ක් මදිනේ ඉතින් අපි බෝකර් කාරයට අඩලා අඩලා පොර ඩොලර් 500 ක් අඩුවෙන් ගන්න පොරොන්දු වුනා. ඔන්න ඉතින් අපි හරි සතුටෙන් ඔක්කොම ප්ලෑන් කරා අපිට හිටපු  ගෙදරින් යන්න තියන අන්තිම දවස්වේ තමා අලුත් ගෙදරට යන්න දාගත්තේ ඉතින් අපි ලංකාවේ අයියා කෙනෙක්ගේ ලොරියකුත් කතා කරලා බඩු ටික ෆ්ලැට් එකේ පල්ලෙහාට ඇදලා ලොරිය එනකම් බලන් හිටියා  අර ඉන්දියන් එවුනුත් අපිත් එක්කම උන්ගේ බඩු ටික පල්ලෙහාට අද්දා.මනේ සෙට් කරපු ඩයල් දෙක අලුත් ගෙදරට කෙලින්ම එනවා කිව්වා 
                                                           මොනවට කියනවද ලංකාවේ එවුන්ගේ වැඩ ලොරිය අයියා නෑ පොර මේ දැන් එනවා මේ දැන් එනවා කියා කියා ඉදලා අන්තිමේට පැය හතරක් පරක්කු වෙලා ආවේ අර බෝකර් කාරයා ඒ අස්සේ කෝල් කර කර කෑ ගහනවා ඉක්මනට එන්න අයිතිකාරය ඇවිත් ඉන්නේ කියලා පොරවත් ශේප් කරලා කොහම හරි බඩු ටිකත් පටවාගෙන අපි අදාළ ස්ථානයට ගියා කොල්ලෝ ටික බඩු බානකං මම ගෙදර අයිතිකාරයා සහ බෝකර් එක්ක එකතු වෙලා ලියකියවිලි ටික සුදානම් කරනවා ගෙදර අයිති පොර බොහොම වයස් ගත චීන ජාතිකයෙක් එයා ඇවිල්ල හිටියේ පොරගේ ලෝයර් එක්ක ඌ ඉන්දියන් කාරයෙක් මට මුණ දැක්කම එපා වෙන ජාතියෙක් එකෙක් උන්ට සැහෙන්න මල පැනලා තිබ්බේ අපි පරක්කු වුන එක ගැන කොහමහරි  ඔන්න දැන් ඇග්‍රිමන්ට් එක අත්සන් කරන්න කලින් සල්ලි ටික ගන්න කිව්වා මම මනෙට කෝල් කරා සල්ලි ටික අරන් උඩට එන්න කියලා  එතකොට මනේ කියනවා අයියේ පොඩි ප්‍රශ්නයක් වෙලා පොඩ්ඩක් පල්ලෙහාට එන්නකෝ කියලා ඉතින් මම බෝකර්වයි ලෝයර් වයි  ශේප් කරලා තකහනියක් පල්ලෙහාට බැස්ස මොකද්ද අවුල බලන්න මම යනකොට වැඩේ වෙලා ඉවරයි. 
                                                     අර අපිත් එක්ක ආපු කාලකන්නි ඉන්දියක් එවුන් තුන්දෙනාට වෙන ගෙයක් අඩුවට සෙට් වුනා කියලා මුන් බඩු ටිකත් අරන් යන්න ගිහින් මට යකශ්‍යා ආවේශ වුනා උන්ට කෝල් කරා කරා ආන්සර් කරන්නෙත් නැහැ මම දැන ගත්තා අපිට කෙල වෙන්න යන්නේ කියලා මම මනේ ගෙන් ඇහුවා දැනේ උබේ යාලුවෝ දෙන්නා කෝ කියලා

"අයියේ අර ඉන්නේ උන් දෙන්නා" කියලා මහා මැරාටි පෙනුමක් තියන ඩයල් දෙකක් පෙන්නුවා සුවර් එකට උන් පුසෝ (විසා නැතිව හොරෙන් ඉන්න උන් ) 

"අයියේ මාර සිං එක උන්ට සල්ලි හම්බවෙන්නේ හෙටලු මොකද කරන්නේ?"

 මනේ එහෙම කියද්දී මට හින් දාඩිය දැම්මා මම එහෙමම එතනම බිම ඉද ගත්තා වෙලාව හවස 6 ට විතර ඇති මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බැරි වුනා අපේ අතේ තියන සල්ලි ටික හොදටම මදි ගේ ගන්න ෆෝන් එකේ තිබ්බ සල්ලි ඉවර වෙනකම් එහේ හිටපු දන්නා අදුරන හැමෝටම කතා කරලා උදව් ඉල්ලුවා නමුත් ඒ කාටවත් අපිට උදව් කරන්න විදියක් තිබ්බේ නැහැ ගෙදර අයිති කාරයාට හොදටම තරහා ගිහින් ඩිල් එක ෆිනිෂ් කරන්න උඩට එන්න කියලා හෝ ගලා බනිනවා වෙලාව රෑ 7.30 යි මොන මගුලක් වෙද්දෙන් කියලා හිතලා  මම මනේවත් එක්ක උඩට ගියා ගිහින් ඇත්ත විස්තරේ කිව්වා සහනයක් ගන්න බලාගෙන මොන සහනෙද අර ලෝයර් කාරයා බල්ලා බුරනවා වගේ බනින්න ගත්ත උන්ව පැය 5 ක් තිස්සේ රස්තියාදු කරලා මොන මගුලක්ද කරන්නේ කියලා අහනවා අපි පට්ට පල් බොරු කාරයෝ ලු තක එක එක කතා කියලා අම්බානෙකට බනිනවා  මම පාඩුවේ අහගෙන ඉන්නවා මොනා කරන්නද මම ට්‍රයි කරන්නේ වැඩේ ගොඩ දාගන්න  ඒ අස්සේ අරු බනින එක අහන් ඉන්න බැරුව මනේ ඌ එක්ක කෙලගන්න  ගියා බොහම අමාරුවෙන් එක ශේප් කරලා මම ගේ අයිතිකාරයට බොහම පැහැදිලව කරුණු පෙන්නලා දුන්නා අපිට දැන් යන්න තැනක් නැහැ බඩු ටිකත් අරන් ආවේ අපිට දැන් අතේ තියන සල්ලි ටික අරන් ගේ දෙන්න දවස් දෙකක් ඇතුලත ඉතුරු සල්ලි ටික හොයලා දෙන්නම් පොරොන්දු වුනා අනේ ඔහු ඇත්තටම හොද මනුස්සයෙක් එයා කැමති වුනා අපිට ගේ දෙන්න නමුත් අර කාලකන්නි  ඉන්දියන් ලෝයර් දිගින් දිගටම අපෙන් ගේම ඉල්ලුවා ඒ මදිවට එයාලගේ පාඩුව සහ කාලය වෙනුවෙන්  වෙනුවෙන් ඩොලර් 1000 ක් ඉල්ලනවා ඒ වෙලාවේ තමයි තරු විසික් වුනේ මගේ පාස්පෝර්ට් එක සහ එහේ අයිඩෙන්ටි කාර්ඩ් එක පොර ලග එක දෙන්නැතුව සල්ලිම ඉල්ලනවා අන්තිමට අපිට සිද්ද වුනා අන්තිම තුරුම්පුව වුන පොලිසියට කතා කරන්න පොලිසිය ඇවිල්ලා අපිට තවත් කෙලවෙයිද? නැත්නුම අපිට ගොඩ දායිද කියලා ඊලග කොටසෙන් බලමුකෝ එහෙනම්

 මතු සම්බන්ධයි 

Saturday, May 4, 2013

මහා වැස්සේ අහස්කුරු


අලි වැහිකැට සට පට ගලා පොළවට වැටෙනවා බලන් හිටියේ මාර අකමැත්තෙන් නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා වැස්ස හින්දා ගෙදර යන්න බැරිව ඔෆිස් එකේ හිරවෙලා ඉද්දි කොච්චර ලස්සන වැස්සක් වුනත් කැතයි . උදේ 8.30 මාරට වැඩ ඉවර වුනත් 11 ට කිට්ටු වෙනකම් හිටියා වැස්ස ඉවර වෙයි කියලා එත් ඉවර වුනේ නැහැ ඉවසලා ඉවසලා බැරිම වැහි දෙයියන්ට ඕනි කුදයක් ගහ ගන්ඩ කියලා ලැප ඔෆිස් එකේම තියලා බයික්  එකට් ස්ටාර්ට් කරන් තෙමි තෙමි ගෙදර යන්න පටන් ගත්තා කරුමෙට ජැකට් එක ගෙනල්ලා තිබුනෙත් නැහැ
              කාර් බාර් වල යන උන් මන් දිහා බලලා හිනා වෙන්ඩ ඇති මම පිස්සෙක් වගේ සින්දු කියා කියා බයික් එකේ ආවේ  සිනෙක් එක හරියේදී ඩයල් එකක් බොහොම අමාරුවෙන් අළු පාට බයික් එකක් තල්ලු කරගෙන යනවා මම කිට්ටු කරලා ස්ලෝ කරා.

"මචං මොකෝ අවුල ?"

"පෙට්‍රල් ඉවර වෙලානේ මට අමතක වෙලා පෙට්‍රල් ගහන්න" මහා අලි වැස්සේ වුනත් උගේ මුනේ තිබ්බේ අසරණ කම මට හොදට පෙනුනා මොකද මමත් ඔය විදියටම ඔය කට්ට ඕනි තරම් කාලා තියන හින්දා ඒ වගේ වෙලාවට පුදුම මුසල අසරණ කමක් හිතට දැනෙන්නේ ඒ මදිවට මැන් හිටියේ ගර්ල් කෙනෙකුත් එක්ක කට්ට ඉතින් ඩබල්නේ.

"මචං උබට මාලබේටම තල්ලු කරන්න වෙයි තෙල් ගහන්න උබ ගාව බෝතලයක් තියනවද මම මේකෙන් පෙට්‍රල් ටිකක් අරන් දෙන්නම්"

"අනේ ලොකු උදව්වක් යාලු පුලුවන්නම් එත් බෝතලයක් නැනේ මචං" පොරගේ මුන්ට පොඩ්ඩක් හිනාවක් අවා"

ඔහොම ඉස්සරහට එන්න මචං මම බෝතලයක් අරන් එන්නම් කියලා මම ආවා ආපහු පොරගේ මුණ කළු වුනා ඌ හිතන්න ඇති මම ආපහු එන එකක් නැහැ කියලා
                      මම ටිකක් ඉස්සරහට යද්දී ප්ලාස්ට්ක් වතුර බෝතලයක් පාරේ වැටිලා තිබ්බා වෙනදට මම මේ හරියෙන් යද්දී පාරේ කුණු දාලා යන එවුන්ට හිතින් බැන බැන යන්නේ මටම හිනා ඒක මතක් වෙලා මම බයික් එකේ ඉදන්ම නැමිලා බෝතෙල් අරන් ආපහු හරවාගෙන ගියා පස්සේ ගහක් යට නතර කරලා බොහොම අමාරුවෙන් මගේ බයික් එකේ පෙට්‍රල් බටේ ගලවලා ෂෙඩ් එක ගාවට යන්න ශේප් වෙන්න පෙට්‍රල් ටිකක් අරන් දුන්නා,

"ලොකු උදව්වක් මචං කරේ උබ ෂෙඩ් එක පැත්තටද යන්නේ යමු මම පෙට්‍රල් ගහලා දෙන්නම් උබට"

"එපා එපා මචං මම පුංචි උදව්වක් කරේ අවුලක් නැහැ"

"එහෙම හරි යන්නේ නැහැනෙ යමු යමු නැත්නම් හරි නැනේ "

"අවුලක් නැ යාලු කවුරු හරි මේ වගේ කට්ටක් කද්දී දැක්කොත් උදව් කරන්නකෝ ඒ ඇති"

මම එහෙම කියලා උගේ බයික් ස්ටාර්ට් වෙනවද කියලත් බලලා තමා ආවේ පව් වැඩේ මම නතරකරේ නැත්නම් මේ වැස්සේ කවුරුත් නතරකරන්නේ නැහැ උදව් කරන්න. ආපහු වැස්සේම මම තෙමිගෙන ගෙදර ආවා දොර ගාවට යද්දී මතක් වුනේ මගේ යතුර මට අරන් යන්න බැරි වුනානේ කියලා හුටා පෝච්චි මල් පෝච්චි මාර කට්ටක් කන්න වෙන්නේ දැන් වාහම මම මෑණියන්ට දුන්නා ඇමතුමක්

"හෙලෝ අම්මේ බලන්නකෝ මගේ යතුර ඇතුලෙනේ මම මේ හොදටම තෙමිලා ඉන්නේ "

"අයියෝ බලන්නකෝ මේ ළමයින්ගේ සිහිය ඉතින් දැන් ඉතින් එන්න කඩේට මගේ යතුර දෙන්නම්"

"අනේ අම්මේ දැන් ඔච්චර දුර එන්න බැහැ හොදටම වහිනවා දැනුත් තෙමිලා ඉන්නේ අසනීප වෙයිද දන්නේ නැ එවන්නකො යතුර කාගේ හරි අතේ "

හරි හරි මම එවන්නම් කියලා මට තව පොඩ්ඩක් බැනලා තිබ්බා දැන් ඉතින් යතුර කොල්ලුපිටියේ ඉදලා එනකම් ඉන්නත් එපයි ඔහේ කැරකි කැරකි ඉද්දි තමා අවුරුද්දට ගෙනාපු අහස් කුරු ටික දැක්කේ ආවා පුංචි මොලේට කුරුවල් අදහසක් වට පිට බලලා හැදුවා ලෝන්ච්පෑඩ් එකක් වැඩි කතා ඕනි නැහැ බලන්නකෝ වීඩියෝ එක



ප.ලි 
මනුස්සයෙක් කරදරේ වැටුන වෙලාවට අහක බලන් යන්න එපා උදව් කරාට මොකුත් හම්බවුනේ නැතත්  කවදා හරි අපිට ලස්සන මතකයක් හරි තියනවා විශේෂයෙන් බයිසිකල් පදින අය අනිත් බයිකර්ස් ලා කරදරේ වැටුනාම උදව් කරන්ඩ ප්ලීස් දන්නවනේ කට්ට 

Saturday, April 20, 2013

අපේ අම්මා



මගේ මේ බ්ලොග් එක අටවගත්ත දවසේ ඉදලා ලියන්න තටමන පොස්ට් එකක් අද ලියන්න හදන්නේ මේක මෙච්චර ලියන්න අමරුවුනේ "අපේ අම්මා" ගැන ලියන්න වචන හොයා ගන්න අමාරු වුන හින්ද වෙලාවකට ඇය ගැන ලියන්න මගේ වචන ලස්සන මදි වෙයි කියලා මට බය හිතුනා ඇය එතරම්ම අපුරු චරිතයකි සැබෙවින්ම ඇය දිරිය කාන්තාවකි විටෙක නිර්ලෝභීව තවත් විටෙක මසුරු සිටාණෝ වගේ ලොබිව තවත් විටෙක නොබියව සමහර විට ඉතා සුපරක්ශාකරිව අපේ අම්මා ලෝකයකට සමාජයට මුණ දෙන හැටි විස්තර කරන්න මේ බ්ලොග් වල මදි වෙන එක සුවර්, අපේ අම්මා මේ වචන දෙක ඇහෙද්දී මට ඕනිම දෙයක් බය නැතුව කරන්න පුළුවන් ඒ මම මොනවා කරත් අපේ අම්මා මාත් එක්ක ඉන්නවා කියලා දන්නා හින්දා. අපේ අම්මා අපි තුන්දෙනාටම(අක්කයි අයියා සහ මම) කවදාවත් ගහලා නැහැ බනිනවා විතරයි නමුත් ඒ බැනුම් ගුටි වලට වඩා ගොඩක් සැරයි වචනයක් කතා කරත් හරියටම වදින්න ඕනි තැනට වචන කතා කරන්න අපේ අම්මා හොදටම දන්නවා, අපි තුන් දෙනාට වැරදුන හුගක් තැන් වලදී අපේ පැත්තට කතා කරේ අපිව බේර ගත්තේ අපේ අම්මා මුළු ලෝකෙම විරුද්ධව කතා කරත් අම්මා ගත්තේ අපේ පැත්ත,

සමහර වෙලාවට අපිට හරි හොදට පේන පුද්ගලයන් දිහා අපේ අම්මා ඉතාමත් සැකෙන් බලන්නේ

"සුදු මහත්තයා පොඩ්ඩක් හොයල බලන්න මනුස්ස්සයා කවුද කියන්නේ අපි දන්නේ නැනේ"

"අනේ අම්මේ මේ නිකන් ඉන්න ඒ මනුස්සයා එහෙම කරන් නැ මම දන්නවනේ ඉතින්"
මම අම්මත් එක්ක රණ්ඩු වෙනවා ටික දවසකට පස්සේ අම්මා කියන දේ හරියනවා ඊට පස්සේ අම්මා කියන්නේ

"ඕකනේ මම කියන්නේ මිනිසුන්ව විස්වාස කරන්න එපා කියලා"

එත් සමහර වෙලාවට හැමෝම එපා කියද්දී අම්මා මිනිසුන්ට උදව් කරනවා හොද හා නරක තෝරා බේරා ගන්න පුදුම හැකියාවක් තියෙන්නේ අම්මට පුංචි කතාවක් මතක් වුනා මට මිට අවුරුදු කීපයකට කලින් අපේ කඩේට යෝගට් දාපු සර් කෙනෙක් හිටියා මම සර් කියලා කිව්වේ එතුමා ළමා වැඩසටහන් අධ්‍යක්ෂකයක් මම පුංචි කාලේ එයාගේ නාට්‍ය වල එහෙම හිටියා ඉතින් මෙතුමා වැඩ කරපු ආයතනයෙන් හරි හැටි ගෙවීම් නොලැබුණු හින්දා හරිම අමාරුවෙන් තමා  ජීවිකාව ගැට ගහගත්තේ කොටින්ම යෝගට් හදන්න කිරි පිටි එක පවා අපේ කඩෙන් නයට අරන් යන්නේ ඒ වුනාට මේ සර් බොහම දැන උගත් මනුස්සයෙක් නීතිය පවා හදාරලා තිබුනේ අන්තිමට මේ සර්ට නාට්‍ය කෙරුවාව එපා වෙලා පෙරකදෝරුවෙක් වෙන්න දිවුරුම දෙන්න යන්න සල්ලි නැතුව අපේ අම්මගෙන් ඉල්ලුවාම අපේ අම්මා දුන්නා ඊටත් අවුරුදු කීපයකට පස්සේ එයා බොහම සාර්ථක වුනා කොටින්ම එයාගේ ළමයි දෙන්නව රුසියාවට යැව්වා දොස්තරලා කරන්න අදටත් මේ සර් අපිට හම්බ වුනාම බොහොම ස්තුතිවන්තව කරපු උදව් ගැන මතක් කරනවා, අම්මා කියන්නේ මිනිසුන්ට බැරි වෙලාවට උදව් කරන්න කියලා.

ඔය වගේ සිද්දි ගොඩක් හින්දා තමා අපේ අම්මා හරිම පුදුමයි කියන්නේ සමහර හිඟන්නෝ දැක්කාම අහක බලාගන්න අපේ අම්මා වයසක ආච්චි කෙනෙක් හරි සියා කෙනෙක් හරි දැක්කම තියන තැනකින් බත් එකයි වතුර බෝතෙල්යි අරන් දෙනවා දීලා කියනවා අපේ අච්චිටයි සියටයි පිං දෙන්න කියලා,

අම්මා අපිව ඇදුම් ගන්න එහෙම එක්ක ගියාම අපිට ඕනි දේවල් ඕනි ඕනි විදියට අරන් දෙනවා අන්තිමට බිල ගෙවද්දී ඕනි දේවල්  ඔක්කොම ගත්තා නේද කියලත් අහනවා දහස් ගණන් අපිට වියදම් කරනවා ලෝබ නැතුව   අපි අම්මට මොනාහරි ගන්න කිව්වාම අපෝ මට හරි යන එව්වා මේකේ නැහැ කියනවා අම්මා සෙරප්පු දෙකක් ගත්තත් ගන්නේ සෙල් එකක අඩුවට තිබ්බොත් විතරයි, මේ ලෝකේ තියන හැම සැපතක්ම අපිට දෙන්න උත්සහ කරන අම්මා එයාගේ සැපත ගැන කවදාවත් හිතන්නේ නැහැ එයා කියන්නේ අපිත් සැප විදින්න හැදුවනම් ඔයාලට මෙව්වා දෙන්න වෙන්නේ නැහැ කියලා

ත්‍රිවිල් ඩ්‍රයිවර්ලත් එක්ක රුපියල් දහයට විස්සට කේවල් කරන ඇය අපි කොහේ හරි යන්න සල්ලි ඉල්ලුවාම ඉල්ලන ගානට අමතරව තව රුපියල් පන්සියක් දාහක් පර්ස් එකට දානවා හදිස්සියක් වුනොත් ගන්න කියලා එහෙමයි අපේ අම්මා

අපේ අම්මා කියන්නේ පුළුවන් තරම් මිනිසුන්ට උදව් කරන්න කවදා හරි ආපහු අපිට හම්බ වෙයි කියලා අපේ අම්මයි තාත්තයි කාටවත් අතනොපා ජිවත් වෙන්න සල්ලි හම්බ කරනවා එහෙම හම්බ කරන්නේ ගොඩක් දුක් විදලා සමහර අපිට දරා ගන්න අමාරු දුක් විදලා එහෙව් එකේ තියෙද්දිත් අම්මා පුළුවන් හැමෝටම උදව් කරනවා අපිට නැති කාලේදී අපි දිහා නොබලපු අයට පවා අම්මා උදව් කරනවා අපේ නෑදෑයෝ ඕනිම දේකදී මුලින්ම හොයාගෙන එන්නේ අපේ අම්මව එයා තමයි හැම තැනදීම මුල් තැන එත් අපේ අම්මා ඉස්සරහට දාන්නේ තාත්තව "මහත්තගෙන් අහලා බලමු" "මම නම් දන්නේ නැහැ මහතත්යා මොනවා කියයිද දන්නේ නැහැ " කියලා තමා ඕනිම කෙනෙක්ට කියන්නේ කියන්නේ

අපි කොච්චර ඉගනගත්තත් අම්මට මදි වෙලාවකට වෙන ළමයි ගැන කියලා අපිට බනිනවා අරයා මෙහෙමයි මෙයා මෙහමයි කියලා එත් අපේ අම්මා අපි ගැන කතා කරන්නේ බොහම ආඩම්බරෙන් අපි කරන පුංචි පුංචි දේවල් පවා හරි ලොකු කමකින් මිනුස්සුන්ට කියන්නේ "අපේ පුතා අහවල් කම්පනියේ වැඩ" "ලොකු පුතා රට" "දුව උපාධිදාරීනියක්" මේ දේවල් වලින් පුදුම සතුටක් ලබන්නේ  අම්මා ලබන්නේ. කොහම හරි පොස්ට් එක දික් වුනා සමහර කියාගන්න ඕනි වුන දේවල් කියා ගන්න උන් නැ කොච්චර ලිව්වත් අම්මා ගැන ලියලා ඉවර වෙන්නේ නැ, මගේ ලොකුම බලාපොරොත්තුවක් තමයි අම්මවයි තාත්තවයි ගොඩක් ආදරෙන් බලාගන්න එක කිසිම අඩුවක් නොකර එයාලා අවශ්‍ය හැමදේම දීලා හැමදාම සතුටින් තියන්නයි බලාපොරොත්තුව ඒක ඉතින් ලොවෙත් කරනවා, අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි

අම්මේ අම්මා නැත්නම් අපි (මම අයියා අක්කා තාත්තා සහ බොහෝ අය) මැරිච්ච තැන්වල ගසුත් නැහැ අම්මගේ ආදරේ හින්දා අපි හැමෝම ගොඩ ගියා, මතු හැම ආත්මෙක්දීම අම්මා අපේම අම්මා වෙන්න කියලා මම ඉල්ලනවා

මිට එවර් ලවින්
සුදු මහත්තයා